කෝෂ ග‍්‍රන්ථකරණය සිංහල භාෂාවට නුහුරු වූවක් නොවේ. පාලි හා සංස්කෘත භාෂා සඳහා නිඝණ්ඩු සම්ප‍්‍රදායෙන් රචිත කෝෂ ග‍්‍රන්ථ කීපයක් ම සිංහල භාෂා සාහිත්‍යයෙහි හමුවේ. එමෙන් ම අත්තරගම රාජගුරු බණ්ඩාර, වේරගම පුඤ්චිබණ්ඩාර, බෝරුක්ගමුවේ රේවත හිමිවැනි විද්වතුන් අතින් අකාරාදි ග‍්‍රන්ථ කීපයක් ද ලක්දිව කෝෂ ග‍්‍රන්ථ ඉතිහාසය තුළ බිහි වී තිබුණ ද ඒවා සිංහල භාෂාව සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් හෝ පරිපූර්ණ කෝෂ ග‍්‍රන්ථ නොවීය. සිංහල භාෂාව සම්බන්ධයෙන් ශාස්ත‍්‍රානුකූල වූත් නවීන වූත් ශබ්දකෝෂයක අවශ්‍යතාව වඩාත් පැන නැඟුණේ 16 වන සියවසේ සිට සිදු වූ යුරෝපීය සංක‍්‍රමණත් සමඟය. 19 වන ශත වර්ෂය මුල් භාගයේ දී ජෝන් කැලවේ බෙන්ජමින් ක්ලෆ්, චාල්ස් කාටර් වැනි බි‍්‍රතාන්‍ය ජාතිකයන් සිංහල ඉංග‍්‍රීසි අකාරාදි ග‍්‍රන්ථ කීපයක් සම්පාදනය කරන්නට උත්සුක වීම ඒ අවශ්‍යතාවෙහි ප‍්‍රතිඑලයක් බව පෙනේ.

ක‍්‍රි.ව. 1845 වර්ෂයෙහි රාජකීය ආසියාතික සමිතියෙහි ලංකා ශාඛාව ආරම්භ කිරීමත් සමඟ මෙරට විසූ විදේශික උගතුන් තුළ සිංහල භාෂාව හා සංස්කෘතික අධ්‍යයනයෙහි ලා ප‍්‍රවණතාවක් ඇති විය. මෙහිදී දේශීය හා විදේශීය උගතුන් හට සිංහල භාෂාව පිළිබඳ පරිපූර්ණ ශබ්දකෝෂයක් නොමැති වීමේ අඩුපාඩුව දැඩි ව දැනෙන්නට වූයෙන් ශ‍්‍රී ලංකාවේ එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය දැරූ චාර්ල්ස් බෲස් (Charles Bruce) හා ලන්ඩනයේ ඉන්දියානු පුස්තකාලයාධිපති රයින්හෝල්ඩ් රොස්ට් (Reinhold Rost) විසින් ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කළ ද ශබ්දකෝෂ සම්පාදන කාර්යය ආරම්භ නොවිණි. 1923 වර්ෂයේ දී ඒ.මැන්දිස් ගුණසේකර මුදලිතුමා විසින් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට මේ පිළිබඳ ව නැවත සිහි ගන්වන ලදුව කොළඹ යුනිවර්සිටි කොලිජීයේ ප‍්‍රධානියා වූ ආර්.මාර්ස් (R.Mars) මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කෙරිණි. එම කමිටු වාර්තාව අනුව සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට තීරණය වූ අතර 1927 දී ශ‍්‍රීමත් ඩී.බී.ජයතිලකයන්ගේ ප‍්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරිණ. මහාචාර්ය හෙල්මන් ස්මිත් ද, ඩබ්.එෆ්.ගුණවර්ධන හා ඒ.මැන්දිස් ගුණසේකර මුදලිවරුන් ද සෙසු කර්තෘ මණ්ඩල සාමාජිකයෝ වූහ. සිංහල භාෂාව පිළිබඳ ප‍්‍රාමාණිකයකු මෙන් ම මහා ශාබ්දිකයකු ද වූ ජර්මානු ජාතික මහාචාර්ය විල්භෙල්ම් ගයිගර් (Wilhelm Geiger) ශබ්දකෝෂයේ උපදේශකවරයා ලෙස හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී. එල්.ජේ.බී.ටර්නර් (L.J.B.Tuner) මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාලක මණ්ඩලයක් ද පත් කෙරිණි.

සිංහල-ඉංග‍්‍රීසි හා සිංහල-සිංහල ශබ්දකෝෂ දෙකක් සම්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කොට 1935 වන විට සිංහල ඉංග‍්‍රීසි ශබ්දකෝෂයේ ප‍්‍රථම කාණ්ඩයේ ප‍්‍රථම කලාපය ද 1937 වන විට සිංහල-සිංහල ශබ්දකෝෂයේ ප‍්‍රථම කලාපය ද එළි දක්වනු ලැබීය.

1942 දී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් සමඟ රාජකීය ආසියාතික සංගමයෙන් ලංකා විශ්වවිද්‍යාලයට පැවැරුණු ශබ්දකෝෂ සම්පාදන කටයුතු 1972 දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතට ගනු ලැබීය. ශ‍්‍රීමත් ඩී.බී.ජයතිලක, මහාචාර්ය එම්.ඩී.රත්නසූරිය, ජුලියස් ද ලැනරෝල්, ආචාර්ය පි.බී.එෆ්.විජේරත්න,මහාචාර්ය ඩී.ඊ.භෙට්ටිආරච්චි, මහාචාර්ය ඩී.ජේ.විජේරත්න (සමප‍්‍රධාන කර්තෘ) ආචාර්ය පී.බී.සන්නස්ගල, මහාචාර්ය විමල් ජී.බලගල්ලේ, මහාචාර්ය විනී විතාරණ, මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන යන විද්වත්හු එදා මෙදාතුර සිංහල ශබ්දකෝෂයේ ප‍්‍රධාන කර්තෘ ධූරය භෙබවූහ. වර්තමානයේ මේ මහා ජාතික කර්තව්‍යය මෙහෙයවමින් ප‍්‍රධාන කර්තෘ ධූරය උසුලන්නේ ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද නායක ස්වාමින් වහන්සේය.

1992 වන විට සිංහල-සිංහල නෛරුක්තික මහා ශබ්දකෝෂයේ කටයුතු සම්පූර්ණ කිරීමට හැකි වූ අතර එහි සංශෝධිත මුද්‍රණයේ කලාප 5 ක් ද එළි දක්වා ඇත. මේ වනවිට සිංහල ඉංග‍්‍රීසි ශබ්දකෝෂයේ අ - ගිලන්පස පූජාව දක්වා වචන ඇතුළත් කොට කලාප 27 ක් ද, සිංහල-සිංහල- සංක්ෂිප්ත ශබ්දකෝෂයක් ද එළි දක්වා ඇති අතර සිංහල-ඉංග‍්‍රීසි-දෙමළ ත්‍රෛභාෂික ශබ්දකෝෂයක් ද දැනට සම්පාදනය වෙමින් පවතී.